Sunday, August 29, 2010

වන්දනාගමන......


සියළුම හිමිකම් ඇවරිණි...


සීත උදුවප් මහේ සීත සුළග මුළුතැන්ගෙයි කවුළු අතරින් පැමිණ ඇය වටා අමුතු ලෝකයක් මවන්නට සමත් විය.ඒ අලුත් බලාපොරොත්තුවක ඉඟියක් මෙනි.එය කෙසේද යත් උඳුවප් මස එළඹ නොමැති වුවද සීත සුළඟ උඳුවප් මස ඉඟි කරන්නා මෙනි.සීත සුළඟින් කිලිපොලා ඇගේ ගත සිත කල්පනා සයුරක ගිලුනාය.

එය අතිසුන්දර සන්ධ්‍යාවකි.අනුරපුර රුවන්වැලි සෑ සමිදු අසබඩ නෙළුම් මල් අතින්ගෙන අධිෂ්ඨාන පුජාවේ යෙදුනු සැටි ඇයට අද ඊයේ මෙනි.නමුදු මේ සියලු සිදුවිම් සිදුව අවුරුදු අටකට වඩා ගෙවී තිබුණාය.කාලය බොහෝ සේ වෙනස් වී තිබුණි.එදා තමන් අසල සිටි ආදරණිය සැමියා මේ වන විට තමා මෙන්ම ලෝකයම අත්හැර ගොස් තිබුණි.ඇයට තව බොහෝ වෙනස්කම් කරන්නට කාලය සමත්වී තිබුණාය.ඉන් බරපතලම වෙනස නම් ඇයට එදා තිබුණු නිදහස් ජිවිතය දැන් අහිමි වී තිබිමයි.එනම් යථාර්තය නම් ඇය දැන් තමන්ගේම දියණියගේ කුස්සි අම්මා වී හමාරය.එය කාලයත් සමග මුදල නැමති කඩදාසි කොලය කල විපර්යාසයක් බව ඇයට හැඟුනත් තම එකම දියණිය නිසාවෙන් ඇය මේ සියලු දුක් කරදර ඉවසීය.

නමුත් ඇයගේ සිතෙහි ඇති වූ නැවුම් බලාපොරොත්තුවක ඉඟියත් සමග ඇය සිටියේ වෙනදාට වඩා පිබිදීමකය.ඒ තමන් අවුරුදු අටකට පෙර ගිය ආකාරයට වන්දනා ගමනක් යාමට තමන්ට අවස්ථාවක් ලැබී ඇති නිසාය.ඇයට සැමවිටම තම අතීතය සිහිපත් විය.ඒ තුල ජීවත් වෙමින් පවා ඇය ලැබු තෘප්තිය නිසාවෙන් දෙනෙතට නොදැනීම කඳුළක් පැමිණියේ සතුටට ද දුකටද යන්න ඇයට අවබෝධ නොවුවාය.

මේ සියලු කල්පනා උඩුයටිකුරු කරමින් එකවර ඇසුණු ශබ්දයකින් ඕ තිගැස්සුණාය.ඒ නිවසේ සීනූ හඩයි.ඇයගේ දෑස එක එල්ලයේ යොමු වූයේ බිත්ති ඔරලෝසුව දෙසටය.එහි පහමාර ලෙස වේලාව සදහන් විය.ඒ රජයේ විධායක ශ්‍රේණියක රැකියාවක නියුතු වන තම දියණිය නිවසට පැමිණෙන වේලාව විය.වහවහා ක්‍රියාත්මක වූ ඇය දොරගුළු විවර කිරිමට ගමන් කළාය.දොර පියන් විවර කරනවාත් සමගම තරගකාරී ලොවක ඉවක් බවක් නොමැතිව දිව යන තම දියණිය නිවසට සැපත් විය.

"ගේ ඇතුලට වෙලා මෙච්චර වෙලාවක් මොන බම්බුවක් ද කරේ දොර අරින්නැතුව"...........?
නෝක්කාඩුවක් ඇති කර ගැනීමට සූදානම් වූ දියණිය රළු ලෙස විමසීය.

"අනේ මට හංකවිසියක්වත් ඇහුන්නෑ දුවේ......,අනික මම හිටියේ..."
අම්මා මෘදු ලෙස පිළිතුරු දුනී.

"ඇහුන්නෑ.......ඇයි දැන් කල්පනාව යන්නේ.... මට මේ දහසක් වැඩ මෙයා මේ ගමන් යන්න... කෝ දුව"....?
කිසිදු අනුකම්පාවක් නොමැතිව දියණිය විමසිය.

"දුව මොන්ටිසෝරි ඇරිලා ආපූ වෙලේ ඉඳන් නිදි.දුවලෑ තාත්තත් කෝල් කළා.ඒත් නැගිට්ටේ නෑ....."
එයාට මහන්සි ඇති.මේ දවස් වල කොන්සට් එකට ලෑස්ති වෙනවානේ...

දුවේ,හෙට නිවාඩුවක් දැම්මා නේද...?
දියණියගේ කතාවට හරස් කපමින් ඇය විමසීය.

"දැම්මා.... දැම්මා.... තිබුණ අන්තිම නිවාඩුවත් දැම්මා.ආයිත් ඉතිං නිවාඩු නෑ.නිවාඩු ගත්තොත් පඩියෙන් තමයි.අනික දුවලෑ තාත්තටත් එහෙ දැන් කරදර.කට්ටිය දිගටම අයින් කරනවලු.අරාබිකාරයින්ට ගිය රටනේ..."
දියණිය දිගින් දිගටම කීවාය.

"ම්......"
අම්මා ගණනකට නොගෙන කිවාය.ඇයගේසිතෙහි තවම වැඩ කරනුයේ තමන්ට ලැබුණු වන්දනා ගමන පිළිබදවය.

"අම්මා මට වතුර ලෑස්ති කළාද....?"
දියණිය තරප්පු පෙල දෙසට යත්ම විමසීය.

ඇය එකවර පියවි සිහියට පත්විය.තමන්ට හැමදාම ඉටුකරලන සුපුරුදු රාජකාරිය අමතක වී තිබුණු නිසාය.
"ආ..... මං තව ටිකෙන් ලෑස්ති කරලා දෙන්නම්."
ඇය කලබලයෙන් පිළිතුරු දුණි.

"මොනවද අම්මේ කරන්නේ.මං මෙතන මහන්සි වෙලා මහන්සි වෙලා ගෙදර එනවා.අම්මාට බෑ ඒ ටික හරියට කරන්න.මේ ගමන් යන්න දෙන එක තමයි වැරදි....."
කියමින් වේගයෙන් තරප්පු පෙල නැග කාමරයට වැදුණාය.

හනික කුස්සිය වෙට පියනැගු ඇය සියළු කටයුතු දියණිය වෙනුවෙන් සුදානම් කළාය.නමුත් ඒ තුල වෙනදාට වැඩි පිබිදිමක් ගැබ්වී තිබුණාය.කෙමින් කෙමින් රාත්‍රී අඳුර වැටෙන්නට විය.නමුත් දින කිහිපයක් පුරා ඇයගේ සිතට වැටුණු වන්දනා ගමනේ අරුණැල්ල වඩ වඩාත් දිලෙන්නට විය.රාත්‍රී ආහාර ගැනීමට සියළු කටයුතු ඇය සුදානම් කල පසු විවේකයෙන් සිටි දියණිය කෑම මේසය අසලට පැමිණියාය.

"ආ මෙතන රුපියල් අටසීයක් ඇති.ගමන ගිහින් එන්න."
මුදල් නෝට්ටු කිහිපයක් අම්මා වෙත දිගු කළ දියණිය කියා සිටියාය.

ඇයට මුදල් ලබා ගැනීමට සිත් නොදුන්නද ගමන යා යුතුම නිසා ඇය යටහත් පහත් ලෙස එම මුදල ගත්තාය.රාත්‍රී ආහාරයෙන් පසු සියළුම බඩු බාහිරාදිය පිළිවෙලට තැබූ ඇයගේ සිතෙහි රැදි තිබුණු දුක්දොම්නස් මැදින් ගලාවිත් තිබුණු සතුට ප්‍රකාශ කිරිමට ඇයට අවස්ථාවක් නැත.ඒ සතුට එක් දිනයකට පමණක් බව ඇය හොදින්ම දැන සිටියාය.

පවතින ලෝකයේ ඇති ආර්ථික ක්‍රමවේදය අනුව මුදල නැමති පුහූ ඒකකය කොතරම් ප්‍රබල වී ඇද්දැයි ඇයට සිතුණි.එය ඇයට වඩාත් පසක් වූයේ තමාට රුපියල් අටසීයය දී දියණිය ඉන් අනතුරුව කියපු වැකිය නිසාය.එනම්,

"ම්.......ම්........ මේ මාසේ පඩියත් ඉවරයි.පොතෙත් සත පහක් නෑ.අනික දුවගේ ටීචර්ට ලස්සන සාරියක් බැලුවා රුපියල් එක්දාස් පන්සියකට ඒක අරන් දෙන්නත් ඕනේ......"

ඇයට වඩාත් දුක සිතුනේ ඒ නිසාවෙනි.තම අම්මාට හා බොරු සෝබන වලට වියදම් කරන ආකාරය ඇයට වැටහුණි.ඇය සිතුවේ දියණියගේ වෙනස් විම පිළිබදවය.ඒ ආකාරයට රැය පහන් විය.හිමිදිරියේ අවදි වූ ඇයට පහමාර වන විට නිවස යාබද මංසන්දියට යාමට තිබුණි.ක්ෂණිකව උදෑසන ආහාරය පිළියෙල කළ ඇය ගමනට අවශ්‍ය බඩු බාහිරාදිය සූදානම් කර ගමන සදහා සුදානම් විය.
තරප්පු පෙළ දිගේ ඉහළ මාලයට නැගී ඇය අඩවන් වූ දොරපියන් තුලින් දියණියගේ කාමරයට ගියාය.

"දුවේ මම ගිහිං එන්න කියලා..."
"හා.............."
පිටවූයේ එක් වදනකි.දියණිය පසකට හැරී නැවත නිදන්නට විය.

"දුවේ......... මං එහෙනම් දොර ඇදගෙන යන්නම්..."
එයට දියණියගෙන් පිලිතුරක් ලැබුණේ නැත.

ඇය නිවසින් එළියට පැමිණියේ හිදිරි උදෑසන පහටය.ඇය මංසන්දියට පැමිණ පහමාර වන තුරු සිටියේ නොඉවසිල්ලෙනි.වේලාව පහමාර විය.මංසන්දිය තවමත් ජන ශුන්‍ය විය.වාහනය පැමිණියේ නැත.කෙමින් කෙමින් වේලාව ගෙවී ගියේය.හිමිදිරි පාන්දර හය ඔරලෝසුවේ සදහන් විය.සුර්යාලෝකය මද වශයෙන් මහී කාන්තව වෙත පතිතවන්නට විය.ජනයා මද වශයෙන් මංසන්දිය කරා ඇදෙන්නට විය.නිහඩතාවය බිදිමින් මහාමාර්ගයද කාර්යබහුල වන්නට විය.ඇයගේ සිතෙහි කරුණු ගණනක් හොල්මන් කරන්නට විය.එනම් නඩය තමන් අමතක කොට ගියාද නැතහොත් වාහනයට අනතුරක් වීද....ඇයගේ සිතෙහි හොල්මන් කල කරුණු විය.
වේලාවත් කෙමින් කෙමින් ගත විය.දැන් ඇයගේ හෘදස්පන්දන වේගය වැඩිය.දෙනෙත් තුල බලාපොරොත්තුව දැල් වී තිබුණාය.වාහනය දැන් ඒවි දැන් ඒවී යැයි සිතා ඇය මග බලමින් සිටියාය.වේලාව දැන් හයහමාර ලෙස සනිටුහන් වී තිබේ.ඇය අසල රැකියාවට යාමට පැමිණි තරුණයෙකි.ඇය තරුණයා ඇමතීය.

"පුතේ..... මේ ඉස්සරහා කෝල් ගන්න තැන අරින්නේ කියටද දන්නේ නෑ නේද...?"
අම්මා විමසා සිටියාය.
"දන්නේ නෑ අම්මේ... ඇයි?"

"නෑ මට මේ කෝල් එකක් ගන්න"
"ආ එහෙනම් මෙන්න..."
තරුණයා තම ජංගම දුරකථනය ඇය වෙත පෑවාය.

ඇය ක්ෂණිකව ගමන්මල්ලෙන් ගත් කොල කැබැල්ලක් තරුණයා අත තැබූවාය.
"පුතේ මට ඔය නොම්බරේට අරන් දෙන්න..."
තරුණයා එම අංකයට ඇමතුමක් ගත්තේය.
"අම්මේ මෙන්න රින්ග් වෙනවා"

ක්ෂණිකව දුරකථනය ගත් ඇය අනික් පසින් දුරකථනය ඔසවනවාත් සමගම,
"ඇයි පුතේ වාහනේ කැඩිලාද..?මොකක් හරි කරදරයක්ද තාම නැත්තේ?"

"හෙලෝ...... කවුද මේ කථා කරන්නේ.."
අනෙක් පසින් පිළිවදන විය.

"පුතේ මම මේ සිද්දමුල්ලේ ආච්චි කථාකරන්නේ.ඔයගොල්ලන්ගේ අම්මාගේ යාළුවා...."

"ආ ඔව් ආච්චි කියන්න.."

මොකද පුතේ අද ගමන යන්නේ නැද්ද..?නැත්නම් මාව අමතක වෙලා ගියාවත්ද..?"

"මොන ගමනද ආච්චි....?"

"ඇයි පුතේ අනුරපුර ගමන....."
මේ වන විටත් ඇයට කුමක් වීදැයි තේරුම් ගත නොහැකි විය.

"ආ...... ආච්චි ඒක යනවා කිව්වේ අද නෙමෙයි හෙටනේ......"

ඒ වදනත් සමග දෙනෙත් තුල කැටි ගැසි තිබුණු කදුළු බිංදු දෙනෙත් පියන් තුලින් වැගිරෙන්නට විය.ඇයට දෙනෙත් වෙනදාට වඩා බර ගතියක් දැනෙන්නට විය.හෘද්ස්පන්දනය වැඩි වන්නට විය.අතෙහි තිබූ ජංගම දුරකථනය තරුණයාට දිගු කොට ඇය සිනහා වීමට ප්‍රයත්න දැරුවද සාර්ථක නොවීය.

"ඇයි අම්මේ ප්‍රශ්නයක්ද?"

තරුණයා විමසුවද ඇයට පිළිතුරු දීමට හැකියාවක් නොතිබිණි.ඇය ගමන් මළු තම අතට ගෙන නිවස දෙසට යන්නට විය.
ඇයට තමන් තබන අඩියක් පාසා මතක් වූයේ අද නැතිනම් හෙට ගමන යා හැකි වීම නොවේ.ඇයට එසේ කිරිමට නොහැක.ඇයට මතක් වූයේ එකම දෙයකි.එනම් දියණිය කියූ දෙබසකි.එය සිහිගන්වා ඇය නිවසේ ගේට්ටුව අසලනතර විය.ඒ තමන් නැවත ඇතුළු වන සිරගෙය දෙස විපරම් කර බැලීමටය.තවමත් ඇයගේ සිතට වද දුන්නේ දියණියගේ වැකියයි.එනම්;දියණිය පෙරදා ප්‍රකාශ කළ අන්දමට.....

"දැම්මා දැම්මා අන්තිම නිවාඩුවත් දැම්මා.ආයිත් ඉතිං නිවාඩු නෑ. ගත්තොත් පඩියෙන් තමයි................."




පෙරඹර සාහිත උදාන
බලන් නැගෙන නව හිරු
කෙටිකතා - විවෘත අංශය
ප්‍රථම ස්ථනය
රොෂාන් ඈපාසිංහ.


මෙම කතාංගයෙහි සම්පුර්ණ අයිතිය මා සතුය.මාගේ කිසිදු විමසිමකින් තොරව මෙම කතාව උපුටා ගැනීම හෝ විකෘති කොට පලකිරිම සපුරා තහනම්ය.

නිර්මාණයක් කිරිමට දරණා උතසාහය දන්නේ නිර්මාණ කරුවෙකි.නිදිවරමින් යතුරු පුවරුවේ යතුරු සමග ඔට්ටු වෙමින් නිර්මාණයන් මා කරනුයේ හුදෙක්ම ඔබගේ රසවින්දනය උදෙසාම නොව මාගේ නිර්මාණශිලි හැකියාවන් මුවහත් කර ගැනිමටය.එම නිර්මාණ වලට ඔබගේ අදහස් මට රන්කහවනු මෙන් වටින්නේ ඒ නිසාවෙනි.........

ඉහත කතාවද මුහුණදුන් අත්දැකිමක් සමග උපකල්පන මත ගොඩ නංවන ලද්දකී...........



මේ ලිපියත්,
හැමදාම ඔබට ලියන මම රොෂාන් ගෙනි....

No comments:

Post a Comment