Monday, September 13, 2010

දැන් ඉතිං බඩු හරිනේ......

අපේ ගෙදර කවූරුත්ම නෑ
මම තට්ට තනියම.........
වේලාව දවල් දොළහයි
වෙන්දා රෑට......,
ඒත් අද කවූරුත් නෑ
මම ඒක ගෙන්න ගියා
පට්ට දවල්ම.....,


අතේ තිබ්බෙත් එක නෝට්ටුවයි
ඒත් ඉතිං දවල්ට හැමදාම කියලා ඈ....
මම ගියා බඩුව තියන තැනට
බය නැතුව ඉල්ලුවා.....
මට ඉතිං පුරුදු නැති දෙයක් ඈ...
මුලින් එකක් පෙන්නුවා
මම ඒක එපා කියලා
අනිත් එක ඉල්ලුවා....


අම්මෝ.......
ඒක දැක්කහම හිතට දැනුන ගතිය....
මහත ගාන....
බරත් නියමයි
පෙනුම මරු...කියලා වැඩක් නා
දිළිසෙනවා
බලන්න ලස්සනේ බෑ...,
ඉතිං මම දුන්නා නෝටුව....
ඉල්ලුවා සුදු රවුමකුත්.....


මෙන්න අයිතිකාරයා කියපි
ගාණ මදි කියලා...
මම හැමදාම ගන්නේ මේ ගාණටනේ ඉතිං
දැන් ඉතිං මොනවා කරන්නද....
මේ අපිම කොර ගත්තුවා තමයි....
යුතුකම ඉෂ්ට කලානේ....

දැන පාන් 48 යි...
මම කොහොමද බිත්තරයක් ගන්නේ
ඉතිරි රුපියල් 2න්...?
දැන් ගෙදර ගිහින් 18 ට
හුල්ලලා.....කමූ පාන්...
පොගවලා වතුරෙන්...
දැන් ඉතිං බඩු හරිනේ......



Tuesday, August 31, 2010

ඔයා සහ එයා....

හූ....හූ..... ඔයාට අපි බය නෑ...
හැමෝම කියනවා....
ඔයා නිකම් වැඩකාරයා වගේ හිටියට වැඩ බෑ කියලා
ඔයා පුම්බගෙන හිටියට වැඩක් නෑ
ඔයාට ඒක කරන්න බෑ.
ඔයා හරි අහිංසකයි
ඒත් ඔයා දන්නේ
අහිංසකයෝ හොය හොයා
හිල් අස්සේ රිංගන්න විතරයි....
අනික ඔයා හැමදාම වගේ දකින්න ඉන්නවානේ...
මෝඩයෝ....
එතකොට ඔයාගේ මර්කට් එක බාහිනවා...
ඉදලා හිටලා කැලෑ පැත්තටත් පලයන්
හැමදාම කාමර අස්සේ රිංගන් නැතුව...
ඕන්න මං ලගට ආවොත්
එදාට තමයි ඔයා පාඩමක් ඉගෙන ගන්නේ...
මම ගනවා ඔයාට _____________________(අන්තිමට වචනේ ඇති )

ඒත් එයා......
එයාටනම් අම්මෝ....... මම බයයි
එයා හරි නපුරුයි
ගැවුවොත් ගැව්වමයි.....බඩු හරි
ඔයා වගේ මෙයත් හිල් අස්සේ රිංගනවා තමයි
එත් මෙන්න බඩුව.....
මොකද මෙයා හැමදාම පෙන්න නෑනේ
ඔයා වගේ කාමර අස්සේ මෙයා රිංගන් නෑ හැමතිස්සේම
එයා රිංගන්න ආස වැඩිපුර....
කෑලේ තියන ගුල් වලට
එයා ලගට ආවොත්
මම ඔයාට වගේ පාට් දාන්න යන්නේ නෑ
මම ආදරේන් කියනවා...........
සූදූ ඔයා යන්නකෝ කෑලේ පැත්තට කියලා
එතකොට එයා අහනවා......
ඔයා වගේ මුරණ්ඩු නෑ එයා....
ඔයා එයා වගේ කොරන්න හැදුවට
ඔයාට ඒක කරගන්න බෑ........
ඔයා එයා වෙගේම හිටියට
ඔයාට එක දෙයක් අඩුයි........

ඒ මොකක්ද දන්නවාද.....?

ඔයාට අඩු.......... පෙනේ
මොකද ඔයා ගැරඩියානේ......හූ...හූ.......





හූ....හූ......ඔයාට මම බය නෑ.......
වෙනදා වගේම ඔබට අකුරු කල මම.......
රොෂාන්.....

Sunday, August 29, 2010

වන්දනාගමන......


සියළුම හිමිකම් ඇවරිණි...


සීත උදුවප් මහේ සීත සුළග මුළුතැන්ගෙයි කවුළු අතරින් පැමිණ ඇය වටා අමුතු ලෝකයක් මවන්නට සමත් විය.ඒ අලුත් බලාපොරොත්තුවක ඉඟියක් මෙනි.එය කෙසේද යත් උඳුවප් මස එළඹ නොමැති වුවද සීත සුළඟ උඳුවප් මස ඉඟි කරන්නා මෙනි.සීත සුළඟින් කිලිපොලා ඇගේ ගත සිත කල්පනා සයුරක ගිලුනාය.

එය අතිසුන්දර සන්ධ්‍යාවකි.අනුරපුර රුවන්වැලි සෑ සමිදු අසබඩ නෙළුම් මල් අතින්ගෙන අධිෂ්ඨාන පුජාවේ යෙදුනු සැටි ඇයට අද ඊයේ මෙනි.නමුදු මේ සියලු සිදුවිම් සිදුව අවුරුදු අටකට වඩා ගෙවී තිබුණාය.කාලය බොහෝ සේ වෙනස් වී තිබුණි.එදා තමන් අසල සිටි ආදරණිය සැමියා මේ වන විට තමා මෙන්ම ලෝකයම අත්හැර ගොස් තිබුණි.ඇයට තව බොහෝ වෙනස්කම් කරන්නට කාලය සමත්වී තිබුණාය.ඉන් බරපතලම වෙනස නම් ඇයට එදා තිබුණු නිදහස් ජිවිතය දැන් අහිමි වී තිබිමයි.එනම් යථාර්තය නම් ඇය දැන් තමන්ගේම දියණියගේ කුස්සි අම්මා වී හමාරය.එය කාලයත් සමග මුදල නැමති කඩදාසි කොලය කල විපර්යාසයක් බව ඇයට හැඟුනත් තම එකම දියණිය නිසාවෙන් ඇය මේ සියලු දුක් කරදර ඉවසීය.

නමුත් ඇයගේ සිතෙහි ඇති වූ නැවුම් බලාපොරොත්තුවක ඉඟියත් සමග ඇය සිටියේ වෙනදාට වඩා පිබිදීමකය.ඒ තමන් අවුරුදු අටකට පෙර ගිය ආකාරයට වන්දනා ගමනක් යාමට තමන්ට අවස්ථාවක් ලැබී ඇති නිසාය.ඇයට සැමවිටම තම අතීතය සිහිපත් විය.ඒ තුල ජීවත් වෙමින් පවා ඇය ලැබු තෘප්තිය නිසාවෙන් දෙනෙතට නොදැනීම කඳුළක් පැමිණියේ සතුටට ද දුකටද යන්න ඇයට අවබෝධ නොවුවාය.

මේ සියලු කල්පනා උඩුයටිකුරු කරමින් එකවර ඇසුණු ශබ්දයකින් ඕ තිගැස්සුණාය.ඒ නිවසේ සීනූ හඩයි.ඇයගේ දෑස එක එල්ලයේ යොමු වූයේ බිත්ති ඔරලෝසුව දෙසටය.එහි පහමාර ලෙස වේලාව සදහන් විය.ඒ රජයේ විධායක ශ්‍රේණියක රැකියාවක නියුතු වන තම දියණිය නිවසට පැමිණෙන වේලාව විය.වහවහා ක්‍රියාත්මක වූ ඇය දොරගුළු විවර කිරිමට ගමන් කළාය.දොර පියන් විවර කරනවාත් සමගම තරගකාරී ලොවක ඉවක් බවක් නොමැතිව දිව යන තම දියණිය නිවසට සැපත් විය.

"ගේ ඇතුලට වෙලා මෙච්චර වෙලාවක් මොන බම්බුවක් ද කරේ දොර අරින්නැතුව"...........?
නෝක්කාඩුවක් ඇති කර ගැනීමට සූදානම් වූ දියණිය රළු ලෙස විමසීය.

"අනේ මට හංකවිසියක්වත් ඇහුන්නෑ දුවේ......,අනික මම හිටියේ..."
අම්මා මෘදු ලෙස පිළිතුරු දුනී.

"ඇහුන්නෑ.......ඇයි දැන් කල්පනාව යන්නේ.... මට මේ දහසක් වැඩ මෙයා මේ ගමන් යන්න... කෝ දුව"....?
කිසිදු අනුකම්පාවක් නොමැතිව දියණිය විමසිය.

"දුව මොන්ටිසෝරි ඇරිලා ආපූ වෙලේ ඉඳන් නිදි.දුවලෑ තාත්තත් කෝල් කළා.ඒත් නැගිට්ටේ නෑ....."
එයාට මහන්සි ඇති.මේ දවස් වල කොන්සට් එකට ලෑස්ති වෙනවානේ...

දුවේ,හෙට නිවාඩුවක් දැම්මා නේද...?
දියණියගේ කතාවට හරස් කපමින් ඇය විමසීය.

"දැම්මා.... දැම්මා.... තිබුණ අන්තිම නිවාඩුවත් දැම්මා.ආයිත් ඉතිං නිවාඩු නෑ.නිවාඩු ගත්තොත් පඩියෙන් තමයි.අනික දුවලෑ තාත්තටත් එහෙ දැන් කරදර.කට්ටිය දිගටම අයින් කරනවලු.අරාබිකාරයින්ට ගිය රටනේ..."
දියණිය දිගින් දිගටම කීවාය.

"ම්......"
අම්මා ගණනකට නොගෙන කිවාය.ඇයගේසිතෙහි තවම වැඩ කරනුයේ තමන්ට ලැබුණු වන්දනා ගමන පිළිබදවය.

"අම්මා මට වතුර ලෑස්ති කළාද....?"
දියණිය තරප්පු පෙල දෙසට යත්ම විමසීය.

ඇය එකවර පියවි සිහියට පත්විය.තමන්ට හැමදාම ඉටුකරලන සුපුරුදු රාජකාරිය අමතක වී තිබුණු නිසාය.
"ආ..... මං තව ටිකෙන් ලෑස්ති කරලා දෙන්නම්."
ඇය කලබලයෙන් පිළිතුරු දුණි.

"මොනවද අම්මේ කරන්නේ.මං මෙතන මහන්සි වෙලා මහන්සි වෙලා ගෙදර එනවා.අම්මාට බෑ ඒ ටික හරියට කරන්න.මේ ගමන් යන්න දෙන එක තමයි වැරදි....."
කියමින් වේගයෙන් තරප්පු පෙල නැග කාමරයට වැදුණාය.

හනික කුස්සිය වෙට පියනැගු ඇය සියළු කටයුතු දියණිය වෙනුවෙන් සුදානම් කළාය.නමුත් ඒ තුල වෙනදාට වැඩි පිබිදිමක් ගැබ්වී තිබුණාය.කෙමින් කෙමින් රාත්‍රී අඳුර වැටෙන්නට විය.නමුත් දින කිහිපයක් පුරා ඇයගේ සිතට වැටුණු වන්දනා ගමනේ අරුණැල්ල වඩ වඩාත් දිලෙන්නට විය.රාත්‍රී ආහාර ගැනීමට සියළු කටයුතු ඇය සුදානම් කල පසු විවේකයෙන් සිටි දියණිය කෑම මේසය අසලට පැමිණියාය.

"ආ මෙතන රුපියල් අටසීයක් ඇති.ගමන ගිහින් එන්න."
මුදල් නෝට්ටු කිහිපයක් අම්මා වෙත දිගු කළ දියණිය කියා සිටියාය.

ඇයට මුදල් ලබා ගැනීමට සිත් නොදුන්නද ගමන යා යුතුම නිසා ඇය යටහත් පහත් ලෙස එම මුදල ගත්තාය.රාත්‍රී ආහාරයෙන් පසු සියළුම බඩු බාහිරාදිය පිළිවෙලට තැබූ ඇයගේ සිතෙහි රැදි තිබුණු දුක්දොම්නස් මැදින් ගලාවිත් තිබුණු සතුට ප්‍රකාශ කිරිමට ඇයට අවස්ථාවක් නැත.ඒ සතුට එක් දිනයකට පමණක් බව ඇය හොදින්ම දැන සිටියාය.

පවතින ලෝකයේ ඇති ආර්ථික ක්‍රමවේදය අනුව මුදල නැමති පුහූ ඒකකය කොතරම් ප්‍රබල වී ඇද්දැයි ඇයට සිතුණි.එය ඇයට වඩාත් පසක් වූයේ තමාට රුපියල් අටසීයය දී දියණිය ඉන් අනතුරුව කියපු වැකිය නිසාය.එනම්,

"ම්.......ම්........ මේ මාසේ පඩියත් ඉවරයි.පොතෙත් සත පහක් නෑ.අනික දුවගේ ටීචර්ට ලස්සන සාරියක් බැලුවා රුපියල් එක්දාස් පන්සියකට ඒක අරන් දෙන්නත් ඕනේ......"

ඇයට වඩාත් දුක සිතුනේ ඒ නිසාවෙනි.තම අම්මාට හා බොරු සෝබන වලට වියදම් කරන ආකාරය ඇයට වැටහුණි.ඇය සිතුවේ දියණියගේ වෙනස් විම පිළිබදවය.ඒ ආකාරයට රැය පහන් විය.හිමිදිරියේ අවදි වූ ඇයට පහමාර වන විට නිවස යාබද මංසන්දියට යාමට තිබුණි.ක්ෂණිකව උදෑසන ආහාරය පිළියෙල කළ ඇය ගමනට අවශ්‍ය බඩු බාහිරාදිය සූදානම් කර ගමන සදහා සුදානම් විය.
තරප්පු පෙළ දිගේ ඉහළ මාලයට නැගී ඇය අඩවන් වූ දොරපියන් තුලින් දියණියගේ කාමරයට ගියාය.

"දුවේ මම ගිහිං එන්න කියලා..."
"හා.............."
පිටවූයේ එක් වදනකි.දියණිය පසකට හැරී නැවත නිදන්නට විය.

"දුවේ......... මං එහෙනම් දොර ඇදගෙන යන්නම්..."
එයට දියණියගෙන් පිලිතුරක් ලැබුණේ නැත.

ඇය නිවසින් එළියට පැමිණියේ හිදිරි උදෑසන පහටය.ඇය මංසන්දියට පැමිණ පහමාර වන තුරු සිටියේ නොඉවසිල්ලෙනි.වේලාව පහමාර විය.මංසන්දිය තවමත් ජන ශුන්‍ය විය.වාහනය පැමිණියේ නැත.කෙමින් කෙමින් වේලාව ගෙවී ගියේය.හිමිදිරි පාන්දර හය ඔරලෝසුවේ සදහන් විය.සුර්යාලෝකය මද වශයෙන් මහී කාන්තව වෙත පතිතවන්නට විය.ජනයා මද වශයෙන් මංසන්දිය කරා ඇදෙන්නට විය.නිහඩතාවය බිදිමින් මහාමාර්ගයද කාර්යබහුල වන්නට විය.ඇයගේ සිතෙහි කරුණු ගණනක් හොල්මන් කරන්නට විය.එනම් නඩය තමන් අමතක කොට ගියාද නැතහොත් වාහනයට අනතුරක් වීද....ඇයගේ සිතෙහි හොල්මන් කල කරුණු විය.
වේලාවත් කෙමින් කෙමින් ගත විය.දැන් ඇයගේ හෘදස්පන්දන වේගය වැඩිය.දෙනෙත් තුල බලාපොරොත්තුව දැල් වී තිබුණාය.වාහනය දැන් ඒවි දැන් ඒවී යැයි සිතා ඇය මග බලමින් සිටියාය.වේලාව දැන් හයහමාර ලෙස සනිටුහන් වී තිබේ.ඇය අසල රැකියාවට යාමට පැමිණි තරුණයෙකි.ඇය තරුණයා ඇමතීය.

"පුතේ..... මේ ඉස්සරහා කෝල් ගන්න තැන අරින්නේ කියටද දන්නේ නෑ නේද...?"
අම්මා විමසා සිටියාය.
"දන්නේ නෑ අම්මේ... ඇයි?"

"නෑ මට මේ කෝල් එකක් ගන්න"
"ආ එහෙනම් මෙන්න..."
තරුණයා තම ජංගම දුරකථනය ඇය වෙත පෑවාය.

ඇය ක්ෂණිකව ගමන්මල්ලෙන් ගත් කොල කැබැල්ලක් තරුණයා අත තැබූවාය.
"පුතේ මට ඔය නොම්බරේට අරන් දෙන්න..."
තරුණයා එම අංකයට ඇමතුමක් ගත්තේය.
"අම්මේ මෙන්න රින්ග් වෙනවා"

ක්ෂණිකව දුරකථනය ගත් ඇය අනික් පසින් දුරකථනය ඔසවනවාත් සමගම,
"ඇයි පුතේ වාහනේ කැඩිලාද..?මොකක් හරි කරදරයක්ද තාම නැත්තේ?"

"හෙලෝ...... කවුද මේ කථා කරන්නේ.."
අනෙක් පසින් පිළිවදන විය.

"පුතේ මම මේ සිද්දමුල්ලේ ආච්චි කථාකරන්නේ.ඔයගොල්ලන්ගේ අම්මාගේ යාළුවා...."

"ආ ඔව් ආච්චි කියන්න.."

මොකද පුතේ අද ගමන යන්නේ නැද්ද..?නැත්නම් මාව අමතක වෙලා ගියාවත්ද..?"

"මොන ගමනද ආච්චි....?"

"ඇයි පුතේ අනුරපුර ගමන....."
මේ වන විටත් ඇයට කුමක් වීදැයි තේරුම් ගත නොහැකි විය.

"ආ...... ආච්චි ඒක යනවා කිව්වේ අද නෙමෙයි හෙටනේ......"

ඒ වදනත් සමග දෙනෙත් තුල කැටි ගැසි තිබුණු කදුළු බිංදු දෙනෙත් පියන් තුලින් වැගිරෙන්නට විය.ඇයට දෙනෙත් වෙනදාට වඩා බර ගතියක් දැනෙන්නට විය.හෘද්ස්පන්දනය වැඩි වන්නට විය.අතෙහි තිබූ ජංගම දුරකථනය තරුණයාට දිගු කොට ඇය සිනහා වීමට ප්‍රයත්න දැරුවද සාර්ථක නොවීය.

"ඇයි අම්මේ ප්‍රශ්නයක්ද?"

තරුණයා විමසුවද ඇයට පිළිතුරු දීමට හැකියාවක් නොතිබිණි.ඇය ගමන් මළු තම අතට ගෙන නිවස දෙසට යන්නට විය.
ඇයට තමන් තබන අඩියක් පාසා මතක් වූයේ අද නැතිනම් හෙට ගමන යා හැකි වීම නොවේ.ඇයට එසේ කිරිමට නොහැක.ඇයට මතක් වූයේ එකම දෙයකි.එනම් දියණිය කියූ දෙබසකි.එය සිහිගන්වා ඇය නිවසේ ගේට්ටුව අසලනතර විය.ඒ තමන් නැවත ඇතුළු වන සිරගෙය දෙස විපරම් කර බැලීමටය.තවමත් ඇයගේ සිතට වද දුන්නේ දියණියගේ වැකියයි.එනම්;දියණිය පෙරදා ප්‍රකාශ කළ අන්දමට.....

"දැම්මා දැම්මා අන්තිම නිවාඩුවත් දැම්මා.ආයිත් ඉතිං නිවාඩු නෑ. ගත්තොත් පඩියෙන් තමයි................."




පෙරඹර සාහිත උදාන
බලන් නැගෙන නව හිරු
කෙටිකතා - විවෘත අංශය
ප්‍රථම ස්ථනය
රොෂාන් ඈපාසිංහ.


මෙම කතාංගයෙහි සම්පුර්ණ අයිතිය මා සතුය.මාගේ කිසිදු විමසිමකින් තොරව මෙම කතාව උපුටා ගැනීම හෝ විකෘති කොට පලකිරිම සපුරා තහනම්ය.

නිර්මාණයක් කිරිමට දරණා උතසාහය දන්නේ නිර්මාණ කරුවෙකි.නිදිවරමින් යතුරු පුවරුවේ යතුරු සමග ඔට්ටු වෙමින් නිර්මාණයන් මා කරනුයේ හුදෙක්ම ඔබගේ රසවින්දනය උදෙසාම නොව මාගේ නිර්මාණශිලි හැකියාවන් මුවහත් කර ගැනිමටය.එම නිර්මාණ වලට ඔබගේ අදහස් මට රන්කහවනු මෙන් වටින්නේ ඒ නිසාවෙනි.........

ඉහත කතාවද මුහුණදුන් අත්දැකිමක් සමග උපකල්පන මත ගොඩ නංවන ලද්දකී...........



මේ ලිපියත්,
හැමදාම ඔබට ලියන මම රොෂාන් ගෙනි....

Tuesday, August 17, 2010

ඈ සහ අම්මා....



ඔබ මලක සුවද බලන විට
දැනේවි අප අතිතයේ සුවද
දුක් වන්නට එපා ඔබ
අතිතය සිහිනයක් පමණි අද

ගලන ඟගක් දුටුවිට
දැනේවි අතිතයේ පහස
දුක් වන්නට එපා ඔබ
අතිතය සිහිනයක් පමණි අද

පියඹන විහගුන් දුටුවිට
දැනේවි අතීත නිදහස
දුක් වන්නට එපා ඔබ
අතිතය සිහිනයක් පමණි අද

සිතුව විගසම ඉගිල යන්නට
සිතුවේ කොහොමද මගේ සොදුරිය
ඔබට ආදරය පිදුව තරමටම

දෙගුණයක් වෛර කලහැකිද මට...?



ඔබටත් එලස කලහැකිද...?

ලෝකයේ කොතරම් හදවත් අපට ස්නේහය දුන්නත් අම්මේ ඔබ ලබාදෙන ආදරය කරුණාව ලැදිකම තරම් වෙන කිසිවෙකුට එයලබා දිය නොහැකිවඟ මම මෙන්ම ඔබත් දනී.මා අද සටහනින් කියන්නට උත්සහා දරණුයේ ඔබ කාට ආදරය කලත් කුමන තැනක සිටියත් ආදරණිය මව්සෙනෙහස අමතක නොකරනු කියාය.මොකද....?





රිදුණු තැවුණු සිත් සනහන්නට
එකම සෙනේහසයි ලොව තුල ඇත්තේ...
ඒ මගේ අම්මේ ඔබ සෙනේහස මිස
අන් කිසිවකුගේ ආදරය නොවේ.....













උත්තරීතර මව්සෙනෙහස දෙවැනි කොට මිරිගුවකට පෙම් බැදි ඔහුගේ ශෝකාලාපය කෙටිකොට එකට කැටිකොට ඔබ වෙනුවෙන් මම ඔබගේ සටහන් කරමි.ඒ ඔබද මමද ආදරයක සංකේතය නිසාවෙනි.

Friday, August 6, 2010

පරමාණුව,ඇමෙරිකාව,ජපානය සහ අපි.........



පරමාණුව...


දෙන්න මට දිය බිදක්
අහෝ දෙන්න.......
මට බීමට දිය බිදක්
ඉඩ දෙන්න මට ලැබීමට දිය පොදක්
අවැසිය මට මිය යාමට එය.........
ඔව්! මිය යෑමට.........!
ජලය......ජලය බිදක්
අයදිමි මම ඔබෙන්.......
නොමැතිද කිසිවෙකුත්


පලුදු වී ඇත ස්වර්ගය
විනාශ වී ඇත මංමාවත්
ගංඟාව.........
ගලයි තවමත් ගංඟාව!
අහෝ අහෝ!
අහෝ අහෝ!
රාත්‍රිය......
වියළුණු ලැගුම් ගත් ඇස් වලට,
ගිනි ගෙන දැවූණු තොල්වලට,
පැතිරි එයි කෙමෙන් රාත්‍රිය
අහෝ! මිනිසකුගේ අඳෝනාව,
මිනිසකුගේ කැළඹීම,
වත ඔහුගේ
කර වී වේදනා දෙන
මිනිසෙකුගේ විනාශ වු
මේ මුහුණ,
මුව කමල!!

තමිකි හරා(1905-1951)
ලේඛකයෙකි,කවියෙකි
හිරෝෂිමාවේ ජිවත් වී බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් ඔහු පසුව සිය දිවිනසා ගත්හ.


ඇමෙරිකාව.......

ඇමරිකානු නිවටුන් 1945 අගෝස්තු 06 වෙනිදා ඉතිහාසයේ දරුණු කලූපැල්ලම ඇති කලේ ලක්ෂ ගණන් අහිංසක් ජිවිත රැසක් යුද්ධයක වග උත්තරකරුවන් කරමින් සමුල ඝාතනය කරනෙමිනි.අද ත්‍රස්තවාදයට විරෝධයි කියමින් රටවල් අක්‍රමණය කරන ලෝකයේ බලවත් විමට හින දකින ඇමරිකාව මේ වන විට උතුරු කොරියාවට ඇස යොමා කෙල හලමින් පසු වෙති.

ජපානය......

ඔවුහු මියගියේ ජපානයේ වුවද එය සමස්තවූ මානව වර්ගයාම කම්පා කරවිය.අද යනු ඒ අපේම සොයුරන් අහිමි වී ගිය දිනයයි.අදටත් මුළු ලෝකයම ඔවුන් සිහිකරති.මම ඉහතින් සදහන් කල නිසදෙසද ඔවුන්ට උත්තමාචාරයක් වනු ඇතැයි මම සිතමි.අද ජපානය යනු කදුළු පිසදා අභිමානයෙන් වැජඹෙන ජාතියකි.


අපි......


අද දිනය තුලදී ශ්‍රී ලංකීය මාධ්‍යයද මේ පිලිබදව වාර්තා සපයා අවසනදී අපටද ජපානය මෙන් නැගී සිටිය හැකියැයි පෙන්නා දෙයි.ඒ දෙය සුපුරුදු පරිදි සිදුවන්නෙකි.නමුත් මා කිසිවිටකත් එලස නොකියමි.මක් නිසාදයත්, අපට ජාතියක් ලෙස නැගිටිමට තිබු අවස්ථා රැසක් පුහු වු දේශපාලුවන් විසින් ඩැහැගැනිමයි.මේවා මිට වඩා කියා කාලය නාස්ති කිරිම නුසුදුසුය.ඒ,අප රටේ යුද්ධය කර ජය ගෙනදුන් පිරිස් සිරකර ත්‍රස්තනායකයින් නිදැල්ලේ සංචාරය කරන නිසාවෙනි,ත්‍රස්ත නායකයින් පාර්ලිමේන්තු යන නිසාවෙනි,නුසුදුස්සෝ ලොක්කෝ වන නිසාවෙනි,ඩෙංගු උණ විකුණා කන නිසාවෙනි,ඩෙංගු නැසිමට බැක්ටිරියාව නොගෙන වෙන වෙන නාඩගම් නටන නිසාවෙනි,ඔළු නැති හරක් අපිව ගස් බදින නිසාවෙනි,දේශපාලකයින් වාසි පැත්තට හොයියා නිසාවෙනි,කොන්ද පණ නැති මාධ්‍යයන් තිබෙන නිසාවෙනි,මේ සියල්ලටම වඩා එකම වැරැද්ද නැවත නැවත කරමින් මේ සියල්ලම දිහා උපේක්ෂාවෙන් බල බලා හඩක් නොනගන බහුතර බියගුළු මහජනතාවක් සිටින නිසාවෙනි.....

තවත් එක් ලිපියක් නොව හැමදාම එකතැන පල්නොවී සිතන්න............
අපිට ඕන අපේ රට සුන්දර කරන්නද...? ඒදා දවස වෙන දේ බලා දෙන දෙය කා ජිවත් විමටද..?
මෙම අසාධාරණයන් තවත් ඉවසමුද..?
ඔබත් නිකරුණේ ඔබව ගස් බැද මරණතර්ජන කරන තුරු සිනහා වේවි බලා සිටිනවාද..?
එසේ බලා සිටිනවානම් ඔබවද ගස් බැන්දාට කම් නැත....



විහිළුවක් නොව දෑස් හැර බලන්න...
ඔබගෙන් ඔබේ අවධානයට.
මෙම සමාජ ක්‍රමය වෙනස් විය යුතු නේද.....?

Tuesday, August 3, 2010

ඒකපාර්ශවිය අනියම් පෙම.......


අළුත් ආරයකට කියවන්න......




නිහඩ නිසල පාළු රැයක මා යහන්ගත වී ඉවක් බවක් නොමැතිව කතරක දිය පොදක් සොයා යන සිත මෙල්ල කිරිමට දක්වන උත්සහය දන්නේ මාත් මෙල්ල නොවන සිතත් පමණි.අනියම් පෙමක් යනු දෛවයේ සරදමකි.නමුත් මා එය අරුත් දක්වනුයේ ඒකපාර්ශවිය අනියම් පෙමක් යනුවෙනි.ඒකපාර්ශවිය අනියම් පෙමක් තිබිය හැකිද..... පාඨක ඔබට මෙය කුකුසක් විය හැක.නමුත් ජිවතය යනු පුදුම තැනකි.අප සිතන පතන සියල්ල අපට ලැබෙනුයේ නැත.ඒ වූ කළි අපි හඩති හැපෙති වැලපෙති.අද මා මෙම ලිපිය ලියනුයේ හදවතින් ඉබේම උත්පාදනය වන හැගීමේනි.රහසක් හදවතේ සිර කර තබා ගැනිමට වැඩිය එය කාට හෝ පැවසිම හදවතට අස්වැසිල්ලකි.නමුත් මම ඒ රහස මුළු ලෝකයටම කියමි.ඒ එය ඔබ නොදන්නා බව මා දන්නා නිසාවෙනි.මේ මගේ කථාවයි.......


ඇය යනු මා ජිවිතයේ රිද්මය බව මට වැටහී ගියේ මා ඇය දුටු මුල් දිනයෙදිමය.මේ විපරිත ලෝකයේ කාලය නිමේෂයෙන් නිමේෂය ගෙවී යද්දී ඇය මාගේ ජිවිතයේ රඟන එකම රූපිකාව බවට පත්විය.මා සියල්ල අමතක කර ඇයට ආදරේ කරන්නට විය.ඒ අරමුණු හීන වී ගිය මගේ ජිවතයට අරුත්බර අළුත්බර අරමුණු ඒ ආදරය සැපයූ නිසාවෙනි.අපි ලගම මිතුරන් බවට පත්විය.ඇය දුන් අරමුණු පසුපස මම හති නොබලා දිවගියෙමි.ඇය නිරතුරුව මා දිරිගැන්විය.මගේ අඩුපාඩූ පෙන්වා දුනි.අප අතරේ ආදර ඉගි හුවමාරු වුවද මා ඇයට හෝ ඇය මට ආදරේ යැයි නොකියවිණි.මේ අතර වාරයේ ජිවිතය බලාපොරොත්තුමත ගොඩ නගමින් උස්වූ කදුමුදුනට මම නැග්ගෙමි.නිල්වන් හිස් අහසේ මගේ හිත සැරිසැරුවේ අපිරිමිත නිදහසකිනි.මා ඒ තරමට ඇයට ආදරේ කලෙමි.මට සැම විටම සිතුනේ ඇයද එලසම වේවි යැයි කියාය.දිනක් මම ඇයට ආදරේ කිමට සැරසුණි.නමුත් එදින මිතුරිය ආදරවන්තියක් කර ගැනිමට දෛවය ඉඩ දුන්නේ නැත.ඇය එදිනම අන් අයෙකුගේ ආදරවන්තියක් වි තිබුණි.මම ඇයට ජිවිතය ජයගන්නට සුභපැතුවා මිස මගේ සිත ප්‍රකාශ කලේ නැත.මා ඇයත් සමග සිනහ වී කථා කලද හදවත ඉකිබිදිනා හඩ සිත තුල වේදනා දුනි.මා නොහඩා සිටිමට උත්සහා කලද කදුළු බිදු මට අවනත වූයේ නැත.මම රහසේ හැඩුවේමි.නමුත් ඒ වෙදනාව කදුළු වලින් දිය කර දැමිය නොහැකි වග මා හොදාකාරවම දැන සිටියෙමි.ඇය තවමත් මගේ සිත තුල ලැගුම්ගෙන සිටි.නමුත් ඇය තවමත් මිතුරියක්ම පමණි.ඇය නිසාවෙන් මට මගේ ජිවිතයට ලැබුණු අභියෝග මට ජයගැනිමට ඉතිරිව ඇත.එයින් එකක් හැර මට අන් සියල්ලම ජයගත හැකිබව සිත දනිමි.මට ජයගත නොහැක්කේ ඔබ පමණි.එමනිසා මා යනු අනියම් පෙමක පංගුකරුවෙකි.මා දන්න්නේ ඔබ මට නිම්මැති වසන්තයක් කියා පමණි....නමුත් ඒ වසන්තය මටනම් රෝස මලක පෙති ගිලිහෙන්නට මල්වැස්සක් ඇද හැලුණු වසන්තයක් පමණි.මට ලියන්න කියන්න අරමුණු දුන් ඔබට මා ඒ සියල්ල පුදදෙනුයේ අරමුණු හින වූ මට ඔබ දුන් නිමක් නොමැති වසන්තය නිසාවෙනි....... සත්තකින්ම ඔබ යනු මට කප්පරක් උස ජිවිතයට අරුතක් දුන් මග සළකුණයි.මගේ නිම්නැති වසන්තයයි......



ජිවිතයේ කාලයෙන් කාලයට විවිධ හැඩරටා මැවෙනවා.පොඩිකාලේ අම්මා තාත්තාගේ ජිවිත දිහා බලල පන්නරය ලබන අපිට යෞවනත්වයට පත්වනවිට ඉබේම ආදරය කියලා හැගීමක් පහල වෙනවා.මම දන්නේ නෑ ඒ හැගීම ඔබට ඇතිවෙලාද නැත්ද යනවග..?ඒත් මට හිතෙන විදිහටනම් රසවත් දේ ලියන්න ඒ හැගුම හොදින් ඉවහල් වෙනවා.උඩ කථාව ගැන ඉතිං කියන්න තියෙන්නේ ඔච්චර තමා..................

හැමදාම එකම විදිහට කියවන කෙටිකතාවට අළුත් හැඩයක් දෙන්න මම හිතුවා.බොලද ප්‍රේම කථා පදුරකට ගැවුවම දුසිම් ගණන් විසිවන මේ යුගයේ මේ කථාව ඔබේ සිතට දැනේවිද...? එය මට කිව යුත්තේ ඔබයි......




සාරංශය....




ඔබට නොහැගුනට
සිතට නොදැනුණට
මා ඔබට පෙම් කල
තරම් දන්නේ මා සිත පමණි,
සොදුර මා එය නොපැවසුවේ
ජයගන්න අරමුණු ඇති නිසා
ජිවිතේ...........
ඒවා මා ජයගද්දී වේගයෙන්
ඔබසිටියා දිරිදෙන්න පිටුපසින්
ඒත් එක් මොහොතකදී
මා දෙවනි වුවා...
ඔහු ඉදිරි වුවා...
ජයගන්න ඔබේ සිත
නමුත් මා සොදුරියේ
ඔබ දුන් ලෝකයේ
ජයකණුව වෙත යමී
ජයගනිමි මතු දිනේ
ඒත් මට හිනහෙන්න
නුඹ නොමැත මා ලගින්...
නුඹේ ඔය සිනහව
තරහින් ඔරවන විලස
සියළු දේ සගවා හිනහෙමි
නුඹ ලගදී...........
කෙසේ වුවත් ඔබ මට
සොදුර නොවී තවමත්
හොදම මිතුරිය.......



ඔබ මට ඇයි උනේ සොදුරිය නොවී මිතුරිය...............!!

Thursday, July 29, 2010

අබුද්දස්ස කාලේ ලබු තිත්ත වෙන එක පුදුමයැක්ද...?



පසුගිය දින කිහිපය දිවයින පුරා අතිසාර්ථක ලෙස තිරගත වූ ඇඟකිළිපොලා යන විකට ජවනිකා ඇතුලත් 'කොම්පියුටර් ජිල්මාට්' 'උපවාසේ' 'බස්සෝ හා කොස්සෝ' යන චිත්‍රපට වලින් පසු එහි නිෂ්පාදක කණ්ඩායම තම මිළග නිර්මාණය පිළිබදව අවධානය යොමුකොට ඇත.මේ පිළිබද පැවති මාධ්‍යය සාකජ්චාවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් MR නිෂ්පාදකයින්ගේ මාධ්‍යය ප්‍රකාශක කෙහෙල්ලෙලි රඹුක්කන මහතා ප්‍රකාශකර සිටියේ, මෙම සිනමා නිර්මාණය සදහා නවින තාක්ෂණය මෙන්ම නවක නළුනිළි පිරිසක්ද හදුන්වා දෙන බවයි.ඔහු වැඩිදුරත් කියා සිටියේ මෙයට නව පෙනුමක් ලබාදීම සදහා මෙතෙක් කලක් දුෂ්ට චරිත රගපෑ KP මහාතාට ප්‍රධාන චරිතය ලබා දෙන බවයි.එමෙන්ම දුෂ්ට චරිතය සදහා බලකිරිමේන් සරත්[SF] මහතා පත්කල බවද ප්‍රකාශකර සිටියා.ඉන් අනතුරුව සිනමා නිර්මාණය පිළිබද මාධ්‍යය කරුවන් වැඩිදුරටත් දැනුවත් කලා.

නිෂ්පාදනය - MR group.
අධ්‍යක්ෂනය - පර්සි
සහය අධ්‍යක්ෂනය - ගොඪම්බර සමග බ්‍රසිල්
ප්‍රධාන නළුවා - KP
ප්‍රධාන නිළිය - අනර්ඝ කෙලි..
සහය නළුවා - කරුණා සමග පිල්ලියා
විකට නළුවා - 'උපවාසේ' රගපෑ විකට වංශ
සටන් නිර්මාණ - ආචාර්යයා
සනීපාරක්ෂනය - සිරිපාල හා සිරිසේන
නර්තනය - නාමල්ලී
ප්‍රබල චරිතය - 'ඇට නැති දිව කී කථා' හී රගපෑ පෝපති
කථාව දෙබස් පිටපත - පර්සි
පසුතල - නැගෙනහිර පෙදෙස
දුෂ්ට චරිත - සරත් ඇතුළු නරඹන්නන්.

එහෙත් මේ සදහා තවමත් ස්ථිර නමක් යෝජනා වී නොමැත.නම් කිහිපයක් මේවන විට අනුමැතිය සදහා යොමුකර ඇත.
නම් -
1.හොරු සමග හෙළුවෙන්...
2.අයදිමි මම සමා...
3.උබ ඇතුලේ මම එළියේ...
4.රජයේ සාක්ෂිය...
5.KP vs SF....

ඔබගෙන් ඔබේ අවධානයට....
විහිළුවක් නොව දෑස් හැර බලන්න.

අඩම්බරකාර තාත්තලා හා අපේ තාත්තලා...



මෙම සමාජ ක්‍රමය වෙනස්විය යුතුය.එය කල හැක්කේ මට නොව අපිටය...



දැනට අපේ රට තුල තාත්තා යන උත්තරීතර නාමය වර්ගීකරණය වෙමින් පවති.ඒ ආඩම්බරකාර හා අපේ තාත්තා යන දෙවර්ගයටයි.අප මොහොතක් කල්පනා කර බැලිය යුතුය.ඒ ඇමරිකාව,චිනය,මේන්ම අප අසල්වැසි ඉන්දියාවත් උඩුගුවන පවා ජයගන්නා විට ලංකාවේ අප්පුහාමිලා සරමත් බැනියම් කොටයත් ගසා ගෙන බුලත් හපයක් කමින්,ගෙදර දොරමුල්ලට වී උඩ බලමින් කල්පනා කරන නිසාය.නමුත් ඔවුහු කිසිවිටකත් කල්පනා කරනුයේ උඩුගුවන ජය ගැනිම නොව,එදා දවස සපුරා ගැනිම ගැනය.ලංකීකයන් වන අප කොතරම් රැවටීමට ලක්වන ජාතියක්ද යන වඟ අපට වැටහෙනුයේ වසර62ක් පුරාවට දේශපාලන දිහාව විපරම් කල විටය.නමුත් මෙහි එන බරපතලම කරුණවී ඇත්තේ ලංකීකයන් රැවටී ඇත්තේ ලංකීකයන් ගෙන්ම විම නිසාය.එනම් තම වරිගය තමන් විසින්ම විනාශ කර ගැනිමකි.එහිද පුදුමයක් නොමැත,ඒ අපි සල්ලාල විජයගෙන් පැවත එන නිසාවෙනි.

නමුත් උසස් බුද්ධියක් හිමි සත්වයෙකු ලෙස අප වැරදි නිවරැදි කර ගැනීමට දැනගත යුතුය.නැවත නැවත එම වැරැද්දම කිරිමෙන් අපට උසස් බුද්ධිය පිළිබද සැකයක් මතුවීම සාදාරණය.පසුගිය වසර කිහිපය දෙස බලද්දී අපට ජාතියක් ලෙස නැගිටිමට තිබු අවස්ථා රැසක් පටුඅදහස් ඇති අවස්ථාවාදීන් විසින් ඩැහැගන්නා ලදී.

නිදසුනක් ලෙස අප රට සූනාමියට මුහුණදී ලද විදේශධාර නියමිත පරිදි යෙදවුයේනම් ඒ ලද ජාතිකහැගීමත් සමග මූළු කලාපයේම බලවත් විමට අපට හැකියාව තිබුණි. නමුත් සිදුවුයේ සුළු පිරිසක් අතරේ ඒවා බෙදියාම පමණී.අපේ ගමේ රැපියල් සියය හොරකම් කල ඇක්මන් අවුරැදු 2ක් සිර දඩුවම් විදිද්දී ,ඔවුහූ අපට ලැබියයුතු මුදලින් සැප ගනී.කාලයෙන් කාලයට මෙවැනි වු විවිධ මාතෘකා මවමින් අපව ඔවුහූ පාගා දමති.මෙය මෙලස සිදුවුවා හොදටම ඇතිය.මේ අප සිතිය යුතු කාලයයි.....

මොවුන්ගේ අළුත්ම මාතෘකාව මෙසේ විමසමු..

01.අඩම්බරකාර තාත්තලා.....
අපට බිමට ඇති කිරිපිටි මිල ඉහල දමයි.
අපේ තාත්තලා.....
අපට බොන්නට කිරිපිටි දෙන්නට අපාදුක් විදියි.

02. අඩම්බරකාර තාත්තලා.......
නිදහස් අධ්‍යපනය විකුණා ඔවුන්ගේ දරුවන්ට පිටරට අධ්‍යපනය ලබා දෙයි.
අපේ තාත්තලා.......
නිදහස් අධ්‍යපනය ලබා දෙන පාසලේ පාසල් ගාස්තු ගෙවන්නට නොසෑහෙන ලෙස දුක් විදියි.

03.අඩම්බරකාර තාත්තලා.....
තම දරුවන්ට සෙල්ලම් කිරිමට නවිනපන්නයේ මොටර් රථ ලබා දෙයි.
අපේ තාත්තලා.....
ලමයා සෙල්ලම් බඩුවක් පදික වේදිකාවේ දැක ඉල්ලන විට හදවතින් දුක් වෙවි ලමයාට පහරක් ගසමින් කැදවා ගෙන යයි.

04.අඩම්බරකාර තාත්තලා.....
දහඩිය බිදුවක් හෝ නොහොල්ලා විශාල පඩියක් ගනී.සැපට ගමන් බිමන් යයි.
අපේ තාත්තලා......
බස් රථ තුල තෙරපී දෑතේ කරගැට එන තුරු වැඩ කර සොච්චම් පඩියක් ගනී.

05.අඩම්බරකාර තාත්තලා....
අවංක නැත.වයස අවුරුදු 75 පසුකලත් අධික ලෝභකමකින් පසු වේ.
අපේ තාත්තලා........
අවංකය.වයස 60න්පසු රස්සාවෙන් විශ්‍රාම යන ඔහු ඉතිරි කාලය පිනක් දහමක් කර ගනී.

06.අඩාම්බරකාර තාත්තලා.....
පාසලෙන් ඉවත් වූ තමන්ගේ දරුවාව උසස් රැකියාවකට යොමුකර විදේශ් පුහුණුවිම් ලබා දෙයි.
අපේ තාත්තලා......
ලොකු ලොක්කන්ට වැදවැටේමින් තම දරුවාට සූදුසුකම් ඇති රස්සාවක් සොයයි.ඒ සොයා සම්මුක පර්යේක්ෂණයට යන විට ආඩම්බරකාර පුතුන් යන මඟ පාර වසා ඇති හෙයින් රස්සාව මඟ හැරී යයි.

07.අඩම්බරකාර තාත්තලා......
තම දරුවන්ට පෙම්වතියන් සමග සම්මාන උළෙලවල් බැලිමට ලක්ෂ දහයක් පහලවක් ලබා දෙයි.
අපේ තාත්තලා.....
දරුවන් සම්මාන උළෙල රෑපවාහිනියේ නරඹද්දී කරට්බිල වැඩියි කියා අපට දෙහි කපති.බැරි වේලාවත් පෙම්වතියක් සමග සිටියහොත් හතර හන්දිකඩා අපව ගේ මුල්ලෙන් තබයි.

08.අඩම්බරකාර තාත්තලා........
කෝටි ගණන් වියදම් කර තම දරුවන් පාසලෙන් ඉවත් වූ විගස පාර්ලිමේන්තු යවයි.
අපේ තාත්තලා......
දරුවන්ට ස්වංරැකියාවක් කිරීමට මුදල් පවා ණය වී ලබා දෙයි.

09.අඩම්බරකාර තාත්තලා........
තම පරම්පාරාවටම හම්බුකර දෙයි.
අපේ තාත්තලා.......
පරම්පරාවට තියා තමන්ටද හම්බූකර ගැනිමට විශාල දුකක් විදියි.

10.අඩම්බරකාර තාත්තලා......
අපිට බදු ගසා ඒ මුදලින් සැපගනී.
අපේ තාත්තලා.....
ඒ දිහා බලබල රටවටේට ණය වී කනේරු ඇට කා මියයයි.


මෙවැන්න තවත් බොහෝය.මොහොත්ක් සිතන්න.මේ බොරුව අපිව තවතව අන්දන විට අපි නිහඩව බලා සිටිමුද..?

මෙම සමාජ ක්‍රමය වෙනස්විය යුතුය.එය කල හැක්කේ මට නොව අපිටය.ඔබ එයට එකගද..?


ඔබගෙන් ඔබේ අවධානයට....

ප:ලි- මෙය හුදෙක් කවුරුන් හෝ අපහසුතාවයට පත්කිරිමට නොව.සියල්ලටම සීමා පනවන යුගයක සීමා නැති මගේ සිතට ආ අදහසකි.නමුත් එය සත්ත්‍යයි.තොප්පිය හරිනම් දාගත්තාට කම් නැත.......

Friday, July 23, 2010

හොරාට පෙර කෙසෙල් කැන වැට පනී...


["පොලිසිය ගහන්නෙ ඉතිං ලමයි හදාගන්නනේ..."]


"E-ලංකාවේ කැම්පස් සිසුවෙකු නහරයක් හීන්වී මරුණුවට"
අනේ හත්දෙයියනේ දැන් අපේ රටේ කැම්පස් යන ලමයින්ට හරියට හයිය හත්තියක්වත් නෑ නොවෑ..... E-ලංකාවේ ජාතික චැනලය බලමින් සිටි කාන්තාවක් කිවාය.

නමුත් E-ලංකාවේ කැම්පස් කොල්ලන්ගේ ශක්තිය දන්නා මම මේ පිළිබදව විපරම් කර බැලුවෙමි...




මෙන්න මගේ වාර්තාව..


මම මුලින්ම ගියේ කැම්පස් එකට.

මම - මහත්මයා අපිට සිද්දිය විස්තර කලොත්..?

කැම්පස් එකේ සැර් කෙනෙක් - ඔන්න බලන්න පුතා මම මේ ළමයින්ට කියලා තියනවාද ගෙදර ගින්දර පිටට දෙන්න එපා කියලා.කෝ මුන් අහන එකක් ඈ. මේක මේ පොඩියට සිද්ධ වෙච්ච සිද්දියක්නේ.අපි ඒකට විනය කමිටුවක් දාලා තියෙන්නේ.ඒ වාර්තාව ආවහම මම පුතාට කියන්නම්.

ඊට පස්සේ මම ගියා තවත් ගුරුවරයෙක් ලගට.

මම - සර් මේ ගැන මොනවද කියන්න පුළුවන්....?
කැම්පස් එකේ සැර් කෙනෙක් - ආ... ඕකද.... මම දන්නෑ..

මේක හරියන වැඩක් නෙමෙයි මම කෙලින්ම ගියා ඒ ලමයාගේ අම්මා ලගට ඒ අම්මා මෙහෙම කිව්වා..

එදා පුතා ගෙදර ඇවිල්ලා කිව්වා අම්මේ මගේ පිට රිදෙනවා කැම්පස් එකේ මල්ලි කෙනෙක් ගහලා කියලා..ඊට පස්සේ එයාට වමනේ ගියා. ඊට පස්සේ එයා කිව්වා මම එනකොට පොලීයෙනුත් ගැහැව්වා එත් එක රිදුනේ නෑ කියලා. පොලිසිය ගහන්නෙ ඉතිං ලමයි හදාගන්නනේ... අයියෝ මගේ පුතා..

ඇයට කිමට හැකිවූනේ එපමණයි...

ඒත් මම හිතුවෙ අපි දන්නා පරිදි කැම්පස් එකේ මල්ලීලා අයියලාට ගහන එකක් නෑ. ඒ මොකද කැම්පස් එක ඇතුලේ ඒ මල්ලී ආයිත් ඉන්න එපෑ.ඔන්න මට එක පාරටම මතක් වූනා අම්මා කියපු පොලීසියේ කතන්දරය.මම ඕක ගැන හොයන්න හැදුවා විතරයි මෙන්න ජාතික චැනලයේ E-ලංකාවේ පොලිස්පති ඉන්නවා. ඒයා කියපි මෙහෙම..
"මම මේ පොලිසිය ශූද්ධ කරන්න හදනවා නෙමෙයි.ඒ ලමයා මැරිලා තියෙන්නේ නහරයක ප්‍රශ්ණයක් නිසා.ඒක මරණ පරික්ෂක තුමා ඔප්පු කලා..."

ඒත් ඔහුගේ යාළුවොනම් කියන්නේ මේක කලේ පොලිසියමයි කියලා.මෙහෙම බලන කොට මේක E-ලංකාව නිසා පුදුම වෙන්න දෙයකුත් නෑ.

කොහොම හරි මම වාර්තාව සම්පුරණ කරන්නත් එපෑ...
මම ඔක්කොම සිද්දි ටික එකට ගැලපුවා මෙහෙම.......

පොලීසිය ලමයි හදාගන්න පහර දෙද්දී ඔහුට සිසුවෙක් පහරදී පිට රිදුණි අතර නහරයක් සිහින් වී මිය ගියේය.ඒ අතර වාරයේ පොලිස්පති සැමට ආදර්ශයක් වෙමින් පොලීසිය ශූද්ද කලේය.මේවා බල බල තවත් සම+හරක් මේවා ජාතිය්‍යන්තර බලවේග අපේ ලොකුඅයියා
අමාරුවේදාන කියමින් ජාතික චැනලයට මුහුණ ඔබා ගත්හ......

කථාව එසේ නිමා වුවද ඉදිරි දිනයන් හී මෙම පුවත මෙසේද විය හැක..

"කැම්පස් ඇරී නිවස බලා යමින් සිටි සිසුවෙකුට පාරේ දකුණු පසින් යන්නයි පොලිස් නිලදාරියෙකු පවසන අවස්ථාවේදී ඔහුගේ බැටන් පොල්ලේහි වසා සිටි ඩෙංගු මදුරුවෙකු දෂ්ඨ කිරීමෙන් සිසුවෙක් මරුණුවට............"


මොකද මේ E-ලංකාවනේ.......


විහිළුවක් නොව දෑස් හැර බලන්න. ඔබගෙන් ඔබේ අවදානයට......

Thursday, July 22, 2010

දත්මිටි කමින් පන්දු යවන සිනහාවෙමින් පන්දුවට පහර දෙන ආදරණීය මුරලි.....


















වර්ණභේද,කුලභේද,ජාතිභේද,ආගම්භේද නොමැතිව එකම සිතින් සමස්ථ ලංකාතලයම සුබපතන අපේ මූරලි......


මේ ව්ශාල වූ ලෝකය පුරාවට අපේ ශ්‍රිලංකාවේ නාමය රැව්පිළි රැව් නැංවූ මුත්තයියා මුරලිදරන් වන ඔබ පිළිබදව අප කාගෙත් සිත්තුල ඇත්තේ අපිරිමිත වූ සෙනෙහසක් සහ ගෞරවයකි.උපරිමයෙන් රට වෙනුවෙන් ඔබ ක්‍රීඩා කලහ.තම අවසන් ටෙස්ට් තරගයෙදී පවා ඉලක්කයක් වෙත යාමට ඔබ තුල තිබුණු ඒ අපිරිමිත ශක්තිය ශ්‍රී ලංකික කාහටත් ඔබ දුන් වවිනා ආදර්ශයකි.එමෙන්ම නවකයින්ට අවස්ථාව ලබා දෙමින් ඔබ ඉවත් වුවද ඔබගේ අඩුව ටෙස්ට් කණ්ඩායමට තදින්ම දැනෙනු ඇතැයි අපි සිතමු.ශ්‍රී ලංකාව තුළ බිහිසුණු යුද්ධය පැවති සමයේදී පවා ඔබ ද්‍රවිඩ ජාතිකයෙකු ලෙස කණ්ඩායමත් සමග එකමුතුව අභිමානවත් ශ්‍රී ලංකීය ජාතියක් ලෙස ලොවටම පෙන්නූ අපේ ජාතික එකමුතුව මේ රට දෙකඩ කිරීමට දත කෑ සියල්ලන්ටම අතුල්පහරක් වූ බව නිසකය.දඟ පන්දුවත් සමග හරි හරියට දඟ කල ඔබ ලංකීය නාමය වාර්තා පොත් අතරට එකදිගට එක් කලහ.ඔබ අද සිට අපට ටෙස්ට් තරග බිමෙහි දක්නට නොලැබේ.නමුත් ඔබ එක්දින හා 20/20 තරගයන්හිදී වෙනදාටත් වඩා දස්කම් දක්වනු ඇතැයි අපි තරයේ විශ්වාස කරනෙමු.අසමසම වූ කඩුලූ 800න් විරාමය තැබු ඔබට ශ්‍රී ලංකේය අපි කාගේත් හෘර්දයාංගම සුබ පැතුම් එක් කරමු.මුත්තයියා මුරලිදරන් නොහොත් තියුණු දෑසක් හා සුන්දර සිනහවක් උරුම ආදරණීය මුරලිට වේවා වාසනාවන්....!!

Tuesday, July 20, 2010

දවස් 3නට 3Kg බර අඩුකරගන්න හැටි....


මෙහි එන නම්/ගම් සියල්ල මනඃකල්පිත බව සලකන්න....


ප්‍රශ්නය ; ඔබගේ නම ජනතාව දැන ගන්න කැමති ඇති.?

පිලිතුර;මම වසන්ත විරවංශ..

ප්‍රශ්නය ; ඔබතුමාගේ රැකියාව...?

පිලිතුර;මම පුරාවිද්‍යවට සම්බන්ධව තමයි වැඩ කරන්නේ,මේ දවස් වල C-ගිරියේ කැණිම් කටයුතු වගයක් කරනවා..

ප්‍රශ්නය ; ඔබ එවැනි රැකියාවක ඉදන් මේ ආකාරයේ සොයාගැනිමක් කලේ...?

පිලිතුර; ඉන්නකෝ පුතා මම කියනකම් කලබල නැතුව. ඔන්න අපි C-ගිරියේ කැණිම් කරකර ඉදලා නිවාඩුවකට කියලා ගෙදර අවා.ගෙදර එන අතරේ මම පොඩ්ඩකට අපේ ලොකු අයියලෑ දිහාට ගොඩවුනා...
මේන් බැලින්නම් අපේ ලොකු අයියා මට කියාපි.. 'මල්ලී විරේ.. උඹ ආයිත් ඔය කැණිම් වලට යන්න ඕනනෑ මම එකට අපේ හදයාට [මූන්ට] කියලා වෙන කට්ටියක් දැම්මා....' කියලා. මට අසූහාරදහට නැග්ගා..

ප්‍රශ්නය ; ඇයි ඒ....?

පිලිතුර; ඇයි බං මොනවා උනත් මගේ රස්සාවනේ.. මම දන්නවනේ ඔක ඉල්ලගන්න මම අඩපු ඇඩිල්ල..උඹට කියන්න මල්ලීයේ මම ඕක ගන්න මගේ සහෝදරකමුත් අතඇරියා.

ප්‍රශ්නය ; එතකොට ඔබ ලොකු අයියා කියලා කිව්වේ...?

පිලිතුර; ඒ අපේ කොම්පැණියේ BOOS ටනේ බං... ඔන්න ඉතිං අහපන්කො ඉතුරු ටික.. මම කෙලින්ම ගියා හදයාගේ ගෙදර.මම හදයාට කිව්වා 'එහෙම කරන්න එපා බං මම ඔයිට කලින් ඔය C-ගිරිය දැකලා තිබ්බෙත් නෑ අයියා තමයි අතින් අල්ලන් ගිහින් ඕක පෙන්නලා එතන රස්සාවට දැම්මේ කියලා..'

ප්‍රශ්නය ; ඉතිං එයා අයින්වුනාද...?

පිලිතුර; මගුලක් කතා කරනවා. මිනිහා කියනවා මාව දැම්මේ ලොකු අයියා එයා කිව්වොත් මම අයින් වෙන්නම් කියලා... මම කෙලින්ම ගියා අපේ ගෙදර. ගිහින් ලොකු අයියාට පණිවුඩයක් ඇරියා හදයා මේකෙන් අයින් කරනකම් මම කන්නෙත් නෑ බොන්නෙත් නැ කියලා.... මල්ලිට කියන්න මල්ලී මම දවස් තුනක් ඔහොම හිටියා,අයියලා ඔක්කොම අවා ලොකුඅයියා විතරයි ආවේ නැත්තේ මාව බලන්න...

ප්‍රශ්නය ;නෑ.... ඉතිං..?

පිලිතුර; ඔන්න ඉතිං මට හොදටම අමාරුයි... මම වැඩෙ නතර කරන්න හැදුවා විතරයි.. මෙන්න ලොකු අයියා දොරයිනේ. මල්ලිට කියන්න අම්මපා ලෙඩෙක් බලන්න එනකොට අඩු ගානේ කෙසෙල් ඇවරියක් ගෙනෙන්.. ඒත් මූ ආවේ හිස් අතින්..ඒ ඇවිල්ලත් වතුර විදුරුවක් අපේ එක්කෙනාගෙන් ඉල්ලනවා.

ප්‍රශ්නය ; ඉතිං වතුර දුන්නා කියමුකෝ...?

පිලිතුර; වතුර නෙමේයි මල්ලියේ මට ඒ වේලාවෙ බොන්න හිතුනේ වහ...

ප්‍රශ්නය ; ඒ ඇයි..?

පිලිතුර; මූ වතුර එක මට දිලා කියනවා කනට කරලා...'ඔය කාපූ අතිවිශිෂ්ට බිස්කට් කුඩු කටවටේට තියනවා ඉස්සරවෙලා ඔය වතුර 1කෙන් කට හොද ගන්න කියලා...'

ප්‍රශ්නය ; ඉතිං ඇත්තටම එහෙම තිබුණද...?

පිලිතුර; මල්ලි විශ්වාස කරනවාද එහෙම කරයි කියලා.. ඔයාට කියන්න මේ දවස් 3නට මගේ බර 3Kg අඩු වෙලා..

ප්‍රශ්නය ; නෑ.....

පිලිතුර; නෑ නෙමෙයි ඔව්.මගේ පවුලත් බනිනවා..

ප්‍රශ්නය ; ඉතිං අයියා රස්සාව දුන්නද...?

පිලිතුර; නෑ.. එයා කිවූවා මට එයා ලගම රස්සාවක් දෙනවා කියලා...ඉතිං මං කෑවා....

ප්‍රශ්නය ; මේ මට ඇත්ත කියන්න ඔයා මොනවත්ම ඔය දවස් 3නට කෑවේ නැද්ද..?

පිලිතුර; නැත්තේම නෑ මල්ලියේ... ඔය බිස්කට් 1ක්2ක්..... ඒත් මල්ලියේ මගේ බරනම් අඩු උනා ඕන්.....


ඔබගෙන් සියල්ලන්ගේම රසවින්දනයට
'උපුටාගැනීම- උපවාසේ.... වේදිකානාට්‍යයෙන්'

Sunday, July 18, 2010

මල් කඩන්නේ අපි කොහොමද..? සියල්ල වෙනුවෙන් ඔබගේ අවදානයට...


E-ලංකාවේ ජංගම දුරකථන ගාස්තු වැඩි වේ.

හලෝ සූදු..,කොහොමද පැටියෝ..., ඔයා කෑවද..,ආආආ මම තරහම තරහයි..,හරි හරි වස්තුවේ.. මේ ඔක්කොම කියුවේ ඉස්සර.
එතකොට දැන් ඇයි එහෙම බැරි...?

E-ලංකාවේ තරුණයෙක් අපිට මෙහෙම කියුවා

ඇයි බැරි?අහන ලස්සන විතරක්.ඊයේ ගත්ත ඇමතුමට සත 50 ඒත් අද ඒකට රුපියලක් ගියා වේලාව වැඩිවෙන්න වෙන්න මගේ පර්ස් 1කනේ හලෝ... දැන් ඉතිං අපි කොහොමැයි නිදහසේ මලක්වත් කඩන්නෙ.දුක තමයි.මම හිතුවේ E-ලංකාවේ මතට තිත විතරයි කියලා.දැන් බලනකොට මල්කඩන අපිටත් තිත.අයියෝ... අතට හම්බවෙන පඩියෙන් බාගයක් බස් ගාස්තු වලට.ඇයි ඊට පස්සේ කැම වලට.. බොහොම ආමාරුවෙන් වෙන්දාට රු.50ක් දාගෙන සූදු ඔයාට කතා කලේ..අම්මෝ දැන් කොහොමද මම ඔයාට තේරුම් කරලා දෙන්නේ මම අද ඉදන් ඔයාට අඩුවෙන් කථා කරන්නේ ආදරේ අඩු නිසා නෙමෙයි.සල්ලියන නිසා කියලා... මගේ වස්තුවේ..මොනවා උනත් කවුරු කලත් වැඩේ කැතයි හරිය.අයියෝ..[හඩමින්] අපිට තමයි ඔක්කොම. යුතුකම් ඉෂ්ට කරලා අපිට ඉතිං දැන් වෙලා තියෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ගෙන ඉන්න..

එන්න ඒහෙමයි අපිට අද ඒ තරුණයා කියපු විස්තරය.ඔබත් එයට එකගද..?

සිත්ගත් ගිතය....


හීන මත ඇදෙනා
කවිය නුඹ නොවිනා
දිවි සරසනා පෙර හඩවලා
සැමරුමේ පිපිලා...

තනු පුරා රගනා
ගීතයක් ලෙසිනා
නුඹ ලං වෙලා
යළි වෙන් වෙලා
මගේ ජිවිතේ හඩවා....

සඳට පෙම් බදිනා
තරු කිමද හඩනා...//
නෙතට නෙතු ඇලෙනා
රහස නොම හැගිලා
නුඹ ඉගිලුනා
නෙතු රවටලා
පැතු ආදරේ නොපුරා..

හීන මත ඇදෙනා...

සකුන ගී මියුනා
ලපලු සර හඩවා...//
වෛර සිත් නොපුරා
තාම පෙම් කරනා
ඔබ සඳ සරා
අහසම වෙලා
යලි වඩිනු මට නොරිදා...

හීන මත ඇදෙනා...

http://uniquesinhala.blogspot.com/2009/06/download-link-01-adamgarakaree-02-mal.html

මේ ගීතයත් ඔයගොල්ලන් වැඩිය අහලා නැති ලස්සන ගීතයක්.මම කියනවාට 1ක පාරක් අහලා බලන්න.හැබැයි ආදරය කරන කට්ටියටනම් එච්චර ලස්සන නැති වේවි..

ඔබ හරහා මමත් සිංහල බ්ලොග් අතරට..


ජිවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්.මට හිතෙන්නේ එහෙමයි,එත් මම දවසක් කල්පනා කරලා බැලුවා ඒ ඇයි කියලා.ඒහෙම හිතෙන්නේ මට විතරද? ඔන්න බලන්නකෝ මට කල්පනා වෙච්ච දේවල්...
පුංචි කාලේ අපිට පුදුම වෙන්න ගොඩක් දෙවල් තිබුණා.සරලවම කිව්වොත් දේදුන්න.පාට හතයි,හැම තිස්සෙම පෙන්නේ නෑ,මට මතකයි ඉස්සර අපේ අම්මා කියනවා...
'පුතේ අර දේදුන්න කියලා ඇගිල්ල දිග් කරහම ඒක ඉක්මන්ට මැකෙනවා..'
හරි පුදුමයි. ඒත් දැන් අපිට ඒක එච්චර පුදුම නෑ.ඒ අපි දැන් දන්නවා දේදුන්නක් හැදෙන්නේ කොහොමද? ඒකට පාට ලැබෙන්නේ කොහොමද? ඔය විස්තර ඔක්කෝම....
එතකොට ඉර,හඳ,තරු මේ ඔක්කෝම දිහා පුංචි දවස්වල අපි බැලුවේ හරි පුදුමයකින්.මට මතකයි පුංචිකාලේ 'ලයන් කිං'කාටූන් එකේ තිබුණා මැරෙන අය තරු වෙනවාකියලා.ඇයි පුංචි දවස්වල අම්මලා අපිට හදේ ඉන්න හවා ගැන කියකියා බත් කවනවා.ඒත් අපි දැන් දන්නවා හදේ හාවෙක් නෑ කියලා.ඒත් අපි තාමත් අපේ අම්මලා කියලා දිපු කතාවලට ආදරය කරනවා.ඒ කතාවලින් තමයි අම්මලා අපිට හිතන්න පුරුදු කරලා තියෙන්නේ.හරි පුදුමයි...
ජිවිතේ ඔහොම ගලා ගෙන යන කොට අපි ඉස්කොලේ යනවා.ඒකත් හරිම පුදුම සුන්දර අත්දැකිමක්.ඊට පස්සේ තරගකාරි බව ටිකටික ජිවිතයට එනවා.5වසරේ ශිෂ්ෂත්ව විභාගය,O/L , A/L , මෙන්න මේ විදිහට අපි ටිකට්ක සංකීර්ණ වෙනවා.වගකිම් වැඩි වෙනවා.JOB 1කක් කරන්න ගත්තම තමයි තේරෙන්නේ මේ ජිවිතේ කොච්චර ආමරුවෙන්ද ජිවත්කරවන්න ඕන කියලා.ඔය අතර ආදරය.. හරිම පුදුම නැද්ද කොච්චර වගකිම් තිබුණත් හිත ආදරය කරන වේලාවට නිදහස්.ඔහොම බලනකොට ජිවිතය කියන්නේ පුදුම තැනක් නෙමෙයිද..?
කොහොම හරි ඔන්න මමත් සිංහල බ්ලොග් අතරට ආවා ඔබ නිසා..අද ඉදන් නිමක් නැති වසන්තය අරගෙන.මමත් ලියන්න ආස කෙනෙක්.ඒක නිසා මම අහිංසකව බලාපොරොත්තු වෙනවා මටත් ප්‍රතිචාර ලැබෙවි කියලා මගේ අදහස් හා මගේ ලිපි වලට.ඔන්න එහෙනම් මේ පුදුම ජිවිතේ මම ඔබ හරහා ඔබට ලියන්නෙමි අද සිට.....


මම.
රොෂාන්...